728x90 AdSpace

Latest News
Wednesday, 5 August 2015

නායයෑමක් සිදුවන්නේ කෙසේද?


නායයාමක් සිදුවීමට බලපාන කරුණු ප‍්‍රධාන වශයෙන් ස්වභාවික හේතු සහ මිනිස් කි‍්‍රයාකාරකම් යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
ස්වභාවික හේතුනායයාමකට හේතුවන ස්වභාවික හේතූන් අතර වර්ෂාව භූමිකම්පා සහ ජලාශවල කි‍්‍රයාකාරිත්වය ප‍්‍රධාන තැනක් ගනී. නමුත් ශී‍්‍ර ලංකාව වැනි රටවල භූමිකම්පා හේතුවෙන් සිදුවන නායයාම් ඉතාමත් අල්පය. මෙරට බොහෝ නායයාම් සිදුවීමට වර්ෂාව වැඩි වශයෙන් බලපා තිබේ.සාමාන්‍යයෙන් පොළොවේ පස් අංශු ඝර්ෂණයෙන් එකට බැඳී පවතී. පස් සහ පාෂාණ වලින් නිර්මාණය වූ කන්දක් ස්ථාවරව පැවතීමට මෙම බැඳීම් හේතුවයි. අධික වර්ෂාව හේතුවෙන් පොළොවට උරාගන්නා ජලය ප‍්‍රමාණය වැඩි වූ විට එම ජලය මෙම පස් අංශු අතර වූ හිඩැස් වල එක් රැස් වූ විට එම ජලය පස් අංශු අතර ඝර්ෂණ බලය අඩු කරන ලිහිසිකාරකයක් ලෙස කි‍්‍රයාකරන බැවින් එම කොටස ප‍්‍රධාන භූමියෙන් පහළට ලිස්සා යාමට ලක්වෙයි. අධික ශබ්දයක්ද සමඟින් සිදුවන මේ අකාරයේ නායයාම් “දිය හෙණ ගැසීම” යනුවෙන් ජන ව්‍යවහාරයේ හඳුන්වයි.කඳු නිම්න සෑදී ඇති පාෂාණ වර්ගය, පාෂාණය ගැඹුරට ජීර්ණය වී තිබීම, පාෂාණය මත පිහිටි ජීර්ණය වූ පස් තට්ටු වේ උස, කුස්තුර පද්ධති වලින් සමන්විත පාෂාණ ව්‍යුහ, ගුරුත්වය යටතේ පතිත වී සෑදුණු පස්තට්ටු තිබීම ආදී කරුණු ද ස්වභාවික නායයාමකට හේතු වේ. සාමාන්‍යයෙන් එකිනෙක වෙන් වූ හෝ එකිනෙක අතර බැඳීම අඩු පස් හා ගල් තට්ටු ඇද හැලීම් හෝ ලිස්සා යාමට වැඩිපුරම භාජනය වේ. ඒවා ලිහිල්ව පැවතීමට එම පාෂාණවල ව්‍යුහය ඇතුළු ගති ලක්‍ෂණ හේතු වෙයි. විවිධ ඛණිජ වර්ග යම් සංයුතියකට අනුව මිශ‍්‍ර වීමෙන් පාෂාණ නිර්මාණය වේ.ඛණිජ වර්ග මිශ‍්‍රවන සංයුතිය අනුව ඒවා කළුගල්, හුණු ගල්, තිරුවාණ ආදී විවිධ පාෂාණ ලෙස නිර්මාණය වී ස්ථර ලෙස පොළොවේ තැම්පත් වෙයි. මේවා දීර්ඝ කාලයක් තිස්සේ ස්වභාව ධර්මයාගේ විවිධ කි‍්‍රයාකාරීත්වයන්ට හසු වීමෙන් දිරාපත් වී බිඳ වැටීමට පටන් ගනී. එමෙන් ම උෂ්ණත්වයේ සහ පීඩනයේ වෙනස්වීම් වලට මුහුණ පෑමෙන් එම පාෂාණ එක් එක් අතට පැලී යාමටද හැකිය. එක් එක් පාෂාණ වර්ග දිරායන වේගය වෙනස් වන අතර ඒවා ජීර්ණය වී සෑදෙන වැලි, මැටි, පස් ආදියද විවිධාකාර ගතිගුණ වලින් යුක්ත වේ.මෙම දිරාපත් ද්‍රව්‍යයන් තට්ටු වශයෙන් කඳු බෑවුම්වල තැම්පත් වීම නායයාම් වලට හේතු වේ.යම් පාෂාණයක් ජීර්ණය වී සෑදුණු පස් මැටි අධික වුවහොත් එම ස්ථානයේ නායයාමේ ඉඩකඩ වැඩිය.සමහර පාෂාණ ස්ථර ඒවා පිහිටි ස්ථරයේම ජීර්ණය වීමෙන් එම ස්ථානයේ ම පස් ස්ථරවශයෙන් පිහිටා තිබේ. ස්ථානීය තැන්පතු යනුවෙන් හඳුන්වන එවැනි ස්ථාන වල නායයාමේ අවදානම අඩුය. එහෙත් නායයාමක් නිසා ගුරුත්වය යටතේ පහළට ගමන් කර බෑවුමේ වෙනත් ස්ථානයක තැන්පත් වන පස් ස්ථරයේ (මේවා සුනු පහන් යනුවෙන් හඳුන්වයි) ඝනකම වැඩි වුවහොත් එහි නාය යාමකට වැඩි ඉඩකඩක් පවතී. කඳු බෑවුම් වල ආනතියද නායයාම් කෙරෙහි බලපානු ලබයි. මතුපිට බෑවුම වැඩි ස්ථානයක නායයාමේ ඉඩකඩ වැඩිය. සාමාන්‍යයෙන් 15 0 – 45 0 අතර ආනතීයක් සහිත මතුපිටක් ඇති කඳු බෑවුම් වැඩි වශයෙන් නායයාම් වලට ගොදුරු වේ. 260- 350 අතර කඳු බෑවුම් නායයාමේ වඩාත් අවදානමක් ඇති බෑවුම් ලෙස හඳුනාගෙන ඇත.ශී‍්‍ර ලංකාවට ප‍්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග හා නිරිත දිග මෝසම් වර්ෂා මඟිනි. ඒ හැරුණු විට එම මෝසම් කාල දෙක අතර ඇති වන අන්තර් මෝසම් වර්ෂාව මඟින්ද වැසි ඇද හැලේ. කඳුකර බෑවුම් මෙම මෝසම් වැසි වලට වැඩි වශයෙන් මුහුණ දුන් විට එම බෑවුම් නායයාමට පටන් ගනී. නිරිත දිග මෝසම් කාලයේදී කෑගල්ල, රත්නපුර, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ති‍්‍රක්කයන්හි නායයාම් බහුලව සිදුවන අතර ඊසාන දිග මෝසම් කාලයේදී මධ්‍ය කඳුකරයේ ඊසාන සහ නැගෙනහිර බෑවුම් වර්ෂාවට වැඩිවශයෙන් නිරාවරණය වීම නිසා බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ මහනුවර වැනි දිස්ති‍්‍රක්ක වල නායයාම් බහුලව සිදුවේ.කඳුකරයේ පිහිටි ස්වභාවික සහ කෘති‍්‍රම ජලාශ වල ජලය පස් ස්ථර හරහා පොළොවට කාන්දු වීම එහි කඳු බෑවුම් වල පස් අංශු අතර බැඳීම දුර්වල කිරීමට හේතු වේ. එමෙන්ම ජලවහන රටාව දුර්වල වීම නිසාත් කඳු බෑවුම් වල තෙත් ගතිය වැඩි වීම නිසාත්, භූගත ජල මට්ටම් වල වෙනස් වීම නිසාත් නායයාම් ඇතිවිය හැකිය.නායයාමක් කෙරෙහි බලපාන අනෙක් සාධකය භූ රූපණයයි. එනම් බෑවුමක හැඩයයි. මේව උත්තල, අවතල වැනි ආකාර වලට පිහිටා ඇත. උත්තල භූ රූපණයක් සහිත කඳු බෑවුම්වල නායයාම් ඉඩකඩ වැඩිය.
මානව කි‍්‍රයාකාරකම්ලෝකය බිහිවූ දා සිට ම ලෝකයේ නායයාම් සිදුවිය. නායයාම් යනු ස්වභාවික භූ විද්‍යාත්මක කි‍්‍රයාවලියක් බැවින් එය නැවැත්වීම කළ නොහැක්කකි. අනෙක් අතට එය සිදුවීම ලෝකයේ පැවැත්මට අවශ්‍ය දෙයකි. අවාසනාවකට අපට අසන්නට දකින්නට ලැබෙන නායයාම් වලින් 90% ක්ම මිනිසාගේ අයහපත් කි‍්‍රයාකාරකම් නිසා සිදුවන ඒවායි.කැලෑ හා රක්‍ෂිත එළි කිරීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී. විශාල වශයෙන් වනාන්තර එළි කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා කඳු බෑවුම් එළි කිරීම වැනි කරුණු නිසා පසේ ස්ථායිතාව දුර්වල වේ. ඒ මඟින් පස් පුපුරායාම, ලිහිල් වීම, පාංශු ඛාදනය හා නායයාම් ඇතිවේ.නිසි සැලසුමකින් තොරව අවිධිමත් ආකාරයෙන් සිදුකරන ඉඩම් පරිහරණය නායයාම් සඳහා බලපාන තවත් කරුණක් ලෙස පෙන්වා දිය හැකිය. බෑවුම් සහිත උස් බිම් කපා මට්ටම් කර නිවාස ඉදි කිරීම නිසා එම ඉදිකිරීම ඉහළින් ඇති බෑවුම අස්ථාවර වේ. මෙහි පස් ස්ථර ක‍්‍රමයෙන් දුර්වල වීම නිසා එම ස්ථානය නායයාමකට ලක්වීමේ ඉඩකඩ පවතී.වාරි ඇළ මාර්ග, කඳු ආශි‍්‍රත මහා මාර්ග ආදිය ඉදි කිරීමේදී නිසි ගවේෂණයක් නොමැතිව කඳු බෑවුම් කපා එම ඉදිකිරීම් සිදු කිරීමත්, භූමියේ යෝග්‍යතාවය (අදාළ කාර්යය සඳහා එම ස්ථානය සුදුසු වේද යන්න සොයා බැලීම) නොසලකා, සුදුසු කාලයකදී ( වර්ෂාව නැති, පොළොවේ තෙතමනය අඩු ) එම ඉදිකිරීම් සිදු නොකිරීමත් නායයාම් සිදු වීමට හේතු වේ.කඳු ආශි‍්‍රතව කළුගල් බහුලව පිහිටි සමහර ස්ථානවල ගල්වලවල් පවත්වාගෙන යයි. එම විශාල කළුගල් කැඩීම සඳහා යොදන උපක‍්‍රමය වන්නේ ගල්වෙඩි දැමීමයි. මේ සඳහා යම් ප‍්‍රමිතියක් ඇතිමුත් එම ප‍්‍රතිශතය ඉක්මවා සමහර ස්ථානවල ගල්වෙඩි දැමීම නිසා ඇතිවන කම්පනයෙන් ඉහළ කඳු බෑවුම් දුර්වල වී එය පහතට කඩා හැලීමේ ඉඩකඩ පවතී. එමෙන්ම ස්වභාවිකව ජලය ගලා එන ජලමාර්ග අවහිර කිරීමෙන් ඒවා පොළොව තුළට ගමන් කිරීම නිසාත් කඳු කරයේ උස්බිම්වල ජලාශ ඉදිකිරීම නිසාත් පසේ ජලය අධිකවීමෙන් නායයාම් සිදුවේ.



  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නායයෑමක් සිදුවන්නේ කෙසේද? Rating: 5 Reviewed By: Unknown