728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

දුටුවන් මන බඳින රූ සපුවක රහස


දුටුවන් මන බඳින පැහැපත්, ප‍්‍රසන්න මුහුණක් සතු කර ගැනීමට යෞවන යෞවනියන් පමණක් නොව මැදිවිය ඉක්මවුවන්ද අකමැති නො වනු ඇත. මුහුණ පැහැපත් වීමට සමේ වර්ණය වැදගත් වන බව බොහෝ දෙනකු සිතා සිටිය ද එය වැරැදි මතයකි. අඳුරුපැහැ සමක් සහිත අයකුට වුවද පැහැපත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගත හැකිය. සමේ පිරිසුදු බව හා නිරෝගිමත් බව අඛණ්ඩව රඳවා තබා ගැනීම පමණක් ඊට ප‍්‍රමාණවත් ය.මුහුණේ සම ශරීරයේ අනෙකුත් ස්ථාන වල සමට වඩා සියුම් සහ සංවේදී බවකින් යුක්ත වීම නිසා ඉතා ඉක්මනින් එහි වෙනස්කම් සිදුවේ. සම දුර්වර්ණ වීම, කුරුළෑ වැනි බිබිලි හට ගැනීම, සම මලානික වීම වැනි දෑ මුහුණේ සම කෙරෙහි අහිතකර ලෙස බලපායි.පැහැපත් සමකට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ම තිබේ. එබැවින් ඒවා මොනවාදැයි යන්න පිළිබඳ විමසා බැලීම මෙතැන් සිට සිදු කරමු.පැහැපත් සමකට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ජලයට හිමි වන්නේ පළමු වන ස්ථානයයි. ජලය මඟින් සිදු කැරෙන ප‍්‍රධානතම කාර්යය වන්නේ ශරීරයේ තෙතමනය ආරක්ෂා කිරීමයි. මෙය සමේ නිරෝගී පැවැත්ම සඳහා බෙහෙවින් ම වැදගත් වන සාධකයකි. අප බීමට ගන්නා ජලයට අමතරව ආහාර වශයෙන් ගන්නා පලතුරු සහ එළවළුවලින් ද ජලය යම් ප‍්‍රමාණයක් සිරුරට එකතු වේ. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයකුගේ ශරීරයට එළවළු සහ පලතුරු මඟින් සියයට දහඅටක පමණ ජල ප‍්‍රමාණයක් ලැබෙන බව සොයා ගෙන තිබෙනවා. සමේ පැහැපත් බවට අවශ්‍ය අනෙකුත් පෝෂණ සංඝටක අතර විටමින් ඒ බීටා කැරොටින් අසන්තෘප්ත මේද සහ විටමන් සී යනාදිය මුල් තැනක් ගනී.බීටා කැරොටීන් සංඝටකය තද කොළ පැහැති හෝ තැඹිලි පැහැති එළවළු වර්ගවල අඩංගුව තිබේ. නිවිති, කැරට් වැනි පළාවර්ග හා එළවළු වලද ඇපි‍්‍රකට් අඹ වැනි තැඹිලි පැහැති පළතුරු වලද බීටා කැරොටීන් අඩංගු වෙයි. මේවා දිනපතා ආහාරයට එක් කැර ගැනීමෙන් සමට බලපාන බොහෝ ගැටලුවලට විසඳුම් ලබාගත හැකිය.
විටමින් සී සාරය සහිත පැඟිරි සහිත පළතුරු බීම පානය කිරීම ද සමේ නිරෝගී භාවය පවත්වාගෙන යාමට උපකාරී වෙයි. දොඩම් යුෂ කෝප්පයකට රාස්බෙරි යුෂ කෝප්ප භාගයක් මිශ‍්‍ර කර පානය කිරීමෙන් සමෙහි ප‍්‍රාණවත් බව ඇති කැරේ. විටමින් සී සහ ඒ සහිත කැරට් අල පහක් සහ දෙළුම් ඇට එකට මිශ‍්‍ර කර බ්ලෙන්ඩරයකින් පොඩිකර යුෂ පානය කිරීම මඟින් සම පිරිසුදු බවට පත් වෙයි. එය සම පිරිසුදු කිරීමේ ක්ලෙන්සිනයක් ලෙස ද භාවිත කළ හැකිය. කොමඩු කැබලි කිහිපයක් මිදි ස්වල්පයක් සමඟ මිශ‍්‍ර කර බ්ලෙන්ඩරයක් මඟින් පොඩිකර ගත් යුෂ පානය කිරීමෙන් කැළල් රහිත දීප්තිමත් සමක් ලබා ගත හැකිය.පිපිඤ්ඤා, වට්ටක්කා කොමඩු සහ කොළ පැහැ එළවළු සාරය සම මත ඇතිවන රත්පැහැ බිබිලි මතුවීම වළක්වයි. මෙම එළවළු වර්ග වල සියයට 96.4 ක් පමණ ජලය අඩංගු ය. පිපිඤ්ඤා සහ තක්කාලි මිශ‍්‍ර කර සාදාගත් සලාද ආහාරයට ගැනීම ද යෝග්‍ය වේ. සලාද කොළ සහ කොමඩු සිරුරේ විෂ නැසීමේ ගුණයෙන් යුක්ත ය. ඉදුණු පැපොල් අනුභව කිරීමෙන් සම ගොරෝසු වීම වළක්වා එය මෘදු බවට පත් වේ. ඛණිජ ලවණ අඩංගු ආහාර ගැනීම මඟින් කුරුළෑ සහ බිබිලි වැනි දෑ හට ගැනීම වැළකේ. මේද රහිත කිරි සහ යෝගට් ආහාරයට ගැනීම ද යෝග්‍යය.යෝගට් සහ කොමඩු මිශ‍්‍ර කර සාදාගත් ආලේපයක් මුහුණේ තවරා මිනිත්තු පහක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හැරීම, බීට්රූට් අලයකින් භාගයක් කොමඩු සමඟ මිශ‍්‍ර කර සාදා ගත් පල්පයකට ලෙමන් (වැල් දෙහි) යුෂ තේ හැන්දක් එක්කර මුහුණේ ආලේප කර මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර සෝදා හැරීමෙන් මුහුණේ සම පිරිසිදු කර ගත හැකිය. මේවා ස්වභාවික ක්ලෙන්සින් වර්ගයක් ලෙස ඔබට නිවසේදීම සාදා ගත හැකිය.ටෝනර් වර්ග ද ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් නිවසේ දී ම තනා ගත හැකිය. රෝස වතුර මේස හැන්දක් සහ ලෙමන් යුෂ තේ හැන්දක් එකට මිශ‍්‍රකර මුහුණේ ආලේප කර තෙත පුළුන් කැබැල්ලකින් සෙමින් ඇතිල්ලීමෙන් මෙම කාර්යය නිවසේදීම කළ හැකිය. මින්චි කොළ ස්වල්පයක් පොඩි කර ගත් යුෂ ද මේ සඳහා යොදා ගත හැකිය. ගසාගස් සුදු මදය සමඟ පිපිඤ්ඤා යුෂ මේස හැන්දක් එකට මිශ‍්‍ර කිරීමෙන් ද ටෝනර් වර්ගයක් සාදා ගත හැකි ය.ස්ටෙ‍්‍රීබෙරි ගෙඩියක් පොඩිකර එයට දියකර ගත් ඕට් පිටි ස්වල්පයක් මිශ‍්‍ර කර සාදා ගත් පල්පය මුහුණේ ආලේප කරන මොයිචරයිසර් එකක් ලෙස භාවිත කළ හැකිය. ඉදුණු පැපොල් කැබැල්ලක් සහ වට්ටක්කා කැබැල්ලක් එකට පොඩි කිරීමෙන් ද මෙවැනිම මිශ‍්‍රණයක් සාදා ගත හැකිය. මේවා පාවිච්චි කිරීමේදී මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර අනතුරු ව සෝදා හැරිය යුතුය. මෙම ස්වාභාවික ප‍්‍රතිකාරයන් ඔබගේ සමට වඩා පැහැපත් සහ නිරෝගි පෙනුමක් එක් කරනු ඇත.
සිතාරා සේනානි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දුටුවන් මන බඳින රූ සපුවක රහස Rating: 5 Reviewed By: Unknown