728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

හදවතට හිත මිතුරු කජු


කිරි රසත්, පැණි රසත් එක් වු කජු මදයක රස බලන්න අපට මොහොතක්වත් ගත වෙන්නේ නැහැ. ඒ නිසාම ලෙහෙසියෙන් කළ හැකි ඕනෑම දෙයක් කජු කෑමට උපමා කරන්න පුරුදු වී සිටිනවා. ඇට වර්ග කී සැනින් කජු අපේ මතකයට මුලින්ම එන්නේ මිහිරි රසයෙන් යුත් ඇට වර්ග අතරින් පෙරමුණේම සිටින්නේ කජු නිසයි. කජු වාරය සැණකෙලියක් වගේයි. කජු පුහුලමක රස බලන්න. ළපටි කිරි කජු ව්‍යාංජනයක් බත් පතට බෙදා ගන්න, පැසුණු කජු මදවල රස බලන්න කවුරුවත් අමතක කරන්නේ නැහැ. අද අපේම ආහාරයක් වී ඇති කජුවල නිජබිම නම් ඊසානදිග බ‍්‍රසීලයයි. ‘ කජු ‘ යන පෘතුගිසි නමින් එරට එම පලතුර හඳුන්වනවා. කජු යන පෘතුගීසි වචනයේ තේරුම ‘ පලතුර ‘ යන්නයි. කජු රස නහර පිනවා යන ආහාරයක් පමණක් නොවෙයි ඖෂධීය ගුණයෙන්ද නොඅඩු ඇට වර්ගයක්. එහෙත් වැඩි දෙනකු සිතා සිටින්නේ කජු හදවතට අහිතකරයි කියායි. එහෙත් මෙය හදවතට හිත මිතුරු ඇටවර්ගයක්.
හදවත ආරක්ෂා කරයි වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා අඩු මේද ප‍්‍රමාණයක් කජුවල තිබෙනවා. එම අඩු මේද ප‍්‍රමාණයෙනුත් 75% ක්ම ඇත්තේ අසන්තෘප්ත මේද අම්ලයි. මෙම මේද අම්ල වල අඩංගු අම්ල, හදවතට හිතකර ඔලිව් තෙල්වල අඩංගු මේදයට සමානය. හෘද රෝගීන්ට වාගේම දියවැඩියා රෝගීන්ට ද නීරෝගීව ජීවත් වීමට කජුවල අඩංගු මේදය උපකාරී වෙන බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. කජු නම් ප‍්‍රණීත ඇට කෝප්ප කාලකින් දෛනික අසන්තෘප්ත මේද අවශ්‍යතාවයෙන් 37.4% ක්ම සපිරෙනවා.  අසන්තෘප්ත මේද වට අමතරව තඹ ( කොපර් ) මැග්නීසියම්, සින්ක්, බයොටින් යන අත්‍යාවශ්‍ය පෝෂකවලින් ද කජු පොහොසත්. තඹ විස නාශකයක් ලෙසින් කි‍්‍රයා කරනවා. ශක්තිය නිපදවීමට අස්ථි රුධිරවාහිනී නිරෝගීව පවත්වා ගැනීමට තඹ නැතිවම බැහැ. එන්සයිම කි‍්‍රයාකාරිත්වයට තඹ අවශ්‍යමයි. සිරුරෙහි තඹ ඌනතාවයක් ඇති වූ විට රක්තහීනතාවය, ඔස්ටියෝපොරෝසිස්, රුධිර නාල සම්බන්ධ ගැටලු, සන්ධි ආබාධ ( රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ) මොළයේ කි‍්‍රයා කාරිත්වයට බාධා, නරක ;කාලෙස්ටරෝල් වැඩිවීම, හොඳ කොලෙස්ටරෝල් අඩුවීම, හද ගැස්ම අක‍්‍රමවත් වීම සහ ආසාදනයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිවීම වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. උදෑසන ධාන්‍ය අඩංගු ආහාර වේල කජු මද කෝප්ප කාලකින් රසවත් කර ගැනීමෙන් දෛනික තඹ අවශ්‍යතාවයෙන් 38.0% ක් සපුරා ගන්න පුළුවන්.
අස්ථි සවිමත් කෙරුමට අස්ථි කී සැනින් අපට මතක් වෙන්නෙ කැල්සියම්. ඒ වාගේම මැග්නීසියම් ද අස්ථිවල නීරෝගිතාවයට අවශ්‍යයි. සිරුරේ ඇති මැග්නීසියම්වලින් 1/3 ක්ම හමුවන්නේ අස්ථිවලයි. එපමණක් නොව මැග්නීසියම් කැල්සියම් සමතුලිතතාවයට, මාංස පේශීන්වල හා ස්නායුවල නීරෝගී පැවැත්මට උපකාරී වෙනවා. ප‍්‍රමාණවත් තරම් මැග්නීසියම් නොලැබුණු විට අධික රුධිර පීඩනය ඇති විය හැකියි. මිග්‍රේන්, මස් පිඩු පෙරළීම, ආතතිය, වෙහෙස මැග්නීසියම් ඌනතාවයේ තවත් අහිතකර ප‍්‍රතිඵලය. ආර්තවහරණයෙන් පසු ඇතැම් කාන්තාවන්ට නින්ද පිළිබඳ ගැටලු මතුවෙනවා. එවැනි අයටත්, ඇදුම රෝගීන්ටත් කජු කෑමෙන් සහනයක් ලැබිය හැකි බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. කජු කෝප්ප කාලකින් දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයෙන් 22.3% ක් සපුරා ගන්න පුළුවන්.
පිත්තාශයේ ගල් ඇතිවීම සතියකට කජු හෝ වෙනත් ඇටවර්ග අවුන්සයක් කෑමෙන් පිත්තාශයේ ගල් ඇතිවීම අවම කළ හැකි බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා.
ගබඩා කිරීම වාතය නොයන පරිදි වැසූ බඳුනක කජු තැන්පත් කරන්න. හොඳීන් අසුරා නැති කජු මිලදී ගන්න එපා. හොඳීන් අසුරා ශීතකරණයේ තැබීමෙන් මාස හයක් වුවත් නැවුම්ව තබා ගන්න පුළුවන්. කැල්සියම් පෙති ගන්නා අයකු පෙති ගැනීමට පැය 2 – 3 කට පෙර හෝ පසු කජු කෑමට ගත යුතුයි. කජුවල අඩංගු ඔක්සලෙට්ස් මගින් සිරුරේ කැල්සියම් උරා ගැනීමට බාධා සිදු කෙරෙනවා. කජු පුහුලන් පලතුරක් නොවෙයි. එහෙත් එය පලතුරක් මෙන් රසවත්. විටමින් සීවලින් පොහොසත් කජු ළමා ළපටියන්ට මෙන්ම වැඩි හිටියන්ට ද කදිම කෑමකි. කජු පුහුලන්වලින් ජෑම්, චට්නි, පාන වර්ග ද සාදයි.
කජු මදයක අඩංගු පෝෂක තඹ මැග්නීසියම් පොස්පරස් අසන්තෘප්ත මේදය සින්ක් බයොටීන්
චම්පිකා දීපානි රණසිංහ


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හදවතට හිත මිතුරු කජු Rating: 5 Reviewed By: Unknown