728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

ගස්ලබු


රසවත් පලතුරු වර්ග රැසක් අප අවට තිබුණද බොහෝ විට ඒවා කාලයකට හෙවත් “වාරයට” දක්නට ලැබෙන පලතුරුය. නමුත් අද මේ කතා කරන්න යන්නේ නිතර දෙවේලේ අපේ නෙත ගැටෙන නිරන්තර ඵලදාවක් ලැබෙන පලතුරක් ගැනයි. ගුණයෙන් හා රසයෙන් පිරුණු ගස්ලබු එහෙමත් නැතිනම් පැපොල් ගැන අප නොදන්නා කරුණු කිහිපයක් සොයා වෙළෙඳ පොළ වටා සවාරියක් යන්නයි අපේ මේ සූදානම. ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ” කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ. පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ. ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.  විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත් ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. පලතුරු සලාද සඳහා නැතිවම බැරි ඉදුණු ගස්ලබු ජෑම් සෑදීමටද කදිමය. පලතුරු සලාද සඳහා ගස්ලබු මිලදී ගන්නා විට හොඳින් ඉදුණු ඒවා නොව බාගෙට ඉදුණු ඒවා තෝරා ගැනීමට උනන්දු වන්න. මන්ද බාගෙට ඉදුණු ගස්ලබු කෑලි කැපීමට හැකි වුවද හොඳින් ඉදුණු ඒවා කෑලි කැපීමට අපහසුය. සලාදයක රස හොඳින් දැනෙනුයේ එය කෑලි වශයෙන් හැපෙන විටදීය. ගස්ලබු වලින් මෙම සලාද, ජෑම්, බීම වර්ග සෑදීමේදී සීනි අඩුවෙන් භාවිතා කිරීමට වගබලා ගන්න.
ඉදුණු ගස්ලබු මෙන්ම අමු ගස්ලබු ද ආහාරය පිණිස ගැනේ. සාමාන්‍යයෙන් අමු ගස්ලබු ආහාර දිරවීම පහසු කරන අතර තද ගතියෙන් යුතු ආහාර මෘදු කර ගැනීමට ද භාවිතා කෙරේ. එපමණක් නොව අමු ගස්ලබු දේශීය අච්චාරුවට නැතිවම බැරි දෙයකි. සිහින්ව කපා බාගෙට තැම්බූ ගස්ලබු විනාකිරෙන් පැසුණු කළ මුවඟට එක්කරනුයේ අපූර්ව රසයකි. එපමණක් නොව එහි සුවඳින් කෑමට රුචියද වඩවාලයි. මැල්ලුමක් ලෙසින්ද ව්‍යාංජනයක් ලෙසින්ද වඩා රසවත් මෙය නිතර දෙවේලේ කටට හුරු රසය වෙනුවට ඔබට නැවුම් රසයක් ලබාදේ. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.  අද වෙළෙඳ පොළේ විවිධ ප‍්‍රමාණයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ පැපොල් විකිණීමට ඇති නමුදු ගසෙහිම ස්වභාවිකව ඉදුණු ගෙඩියක් තෝරා ගැනීම අපහසු වී ඇත. මන්ද එත්රල්, කාබයිඩ් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගීත්වයෙන් ඉඳවා ගත් ගෙඩිද ඒ අතර ඇති බැවිනි. සාමාන්‍යයෙන් එතිලින් වායුව පලතුරු ඉදවීමට උදව් වන වායුවකි. මෙම එතිලින් වායුවෙන් නිපදවෙන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය නියමිත පරිමාවකි  ශරීරයට ද අහිතකර නොවේ. නමුත් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොව තම ලාභ ප‍්‍රයෝජනය ගැන සිතන වෙළෙඳුන් බොහොමයක් මෙම එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය ගස්ලබු වලට එන්නත් කරනු ලබයි. එවිට නොපැසුණු ගෙඩි වුවද දිනයකින් පමණ ඉදවා ගත හැකි අතර ඒ තුළින් විෂ ශරීරගත විම වැළැක්විය නොහැකිය. එබැවින් ඔබ ගස්ලබු මිලදි ගැනීමේදී පිට පොත්තේ සිදුරු තිබේදැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. එපමණක් නොව තැලුණු, පිට පොත්තේ කළු ලප, දුඹුරු ලප ඇතිවුණු ගස්ලබුද මිලදී නොගන්න.ස ෑම විටම අලුත් පෙනුමැති, ස්වභාවික සුවඳින් යුතු ගස්ලබු තෝරා ගැනීමට වගබලාගත යුතු අතර අව්වේ තබා කැකෑරුණු, කුණු, දූවිලි ගැවසුණු ගෙඩි මිලදී නොගන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදුණු ගෙඩියක් නම් එය ස්වභාවිකව ඉදුණු ගෙඩියක් වන අතර සම්පූර්ණයෙන්ම එකම වර්ණයක් ගන්නා ගස්ලබු රසායනික ද්‍රව්‍ය යෙදූ ඒවා විය හැකිය. එබැවින් මේ තත්ත්වය හොඳින් අවබෝධ කොට පිරිසුදු ගස්ලබු ගෙඩියක රස විඳින්න සෑම විටම උත්සාහ ගත යුතු වේ. මේ දිනවල වෙළෙඳ පොළේ තරමක් විශාල ප‍්‍රමාණයේ ගස්ලබු වර්ගයක් අලෙවි වන අතර ඒවා රතු පැහැති වර්ණයක් ගනියි. මැලේසියන් ගස්ලබු ලෙසින් හඳුන්වන මෙම ගස්ලබු වැඩි වශයෙන් අලෙවි වන්නේ සුපිරි වෙළෙඳ සල් වලය. සාමාන්‍ය පලතුරු වෙළෙඳ සල් වලද අලෙවි වන මේ ගෙඩියක් කිලෝ දෙකක් තුනක් පමණ බරැතිය. ලංකාවේ වගා කරන නව ප‍්‍රභේදයක් ලෙසින් හඳුනාගෙන ඇති මේ මැලේසියන් ගස්ලබු ගෙඩියක් රුපියල් 20 ක් 40 ක් අතර මිලකට අලෙවි කෙරේ.
චම්පා වරුසප්පෙරුම


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගස්ලබු Rating: 5 Reviewed By: Unknown