728x90 AdSpace

Latest News
Wednesday 1 July 2015

හිතට වදදෙන අකලට කෙස් වැටීම

හිතට වදදෙන අකලට කෙස් වැටීම


කේෂ කල්‍යාණිය කී සැනින් සිත් හි මැවෙන්නේ දිගු මොනර පිළක් වන් මඳ රැළි ගැසුණු සුන්දර කෙස් කළඹකි. එවන් කේශ කලාපයකට හිමිකම් කියන්නට අකමැත්තෝ කවරහු ද? කෙටි වුවද දිගු වුවද කෙස් කළඹෙහි සොදුරු බවට එහි ප‍්‍රමාණය බලපෑම් කරන්නේ නැත. ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශවය ට ම කෙස් ඉතා අත්‍යවශ්‍ය අංගයකි. කොටට කපා නවීන මෝස්තරයන් ගෙන් කෙස් කළඹ හැඩ ගන්වා ගැනීමට අද බොහෝ තරුණියෝ ඉතා කැමැත්තක් දක්වති. නොයෙක් මාදිලියේ කොණ්ඩා සැරසිලි රූපලාවන්‍ය ක්‍ෂෙත‍්‍රය තුළ ප‍්‍රචලිත ය. හිස සම්පූර්ණයෙන් බූ ගෑම හෝ හිස මුදුනෙහි පමණක් හිස කෙස් ඉතිරිවන සේ බූගෑම තරුණයන් අතර අද ඉතා ප‍්‍රචලිත ම කොණ්ඩ මෝස්තරය වී ඇත. කොණ්ඩා මෝස්තර සිත අලවන පි‍්‍රය උපදවන දෙයකි. නමුත් කොණ්ඩා මෝස්තර පිළිගැනීමට හෝ කිරීමට පෙර එය අප ගේ සෞඛ්‍යට කෙතරම් හිතකර දැයි සොයා බැලීම වටී.හිස මිනිසාගේ බුද්ධිය උපදවන ශරීරය කි‍්‍රයාකාරීව පවත්වාගෙන යාමට අවශ්‍ය ප‍්‍රධානම අංගයකි. අපගේ හිස් අභ්‍යන්තරයේ බුද්ධි ඉන්ද්‍රියය වන මොළය ආරක්‍ෂා කොට ඇති හිස් කබල හා ඒ ආශි‍්‍රත සම සූර්ය රශ්මිය, සීතල සුළං, පින්න ආදී ස්වභාවික පීඩාවන් ගෙන්ද බාහිර ආගාත පහර වැදීම්, වැටීම්, තැලීම් ආදියෙන් ආරක්‍ෂා කරනුයේ කෙස් කළඹම ය.කෙස් ගසක් ලෙස අප හඳුන්වන්නේ අප ශරීරය නිර්මාණයට දායක වී ඇති අස්ථමජ්ජා ධාතුවේ උප ධාතුවයි. කෙස් ගස ද පටවි ආපෝ, තේජෝ, වායෝ ආදි පංඤචමහා භූත යන් ගෙන් නිර්මිත ය. අප වාසය කරන දේශගුණය, පුද්ගල ප‍්‍රකෘතිය, පාරම්පරික ලක්‍ෂණ, වයස අනුව කේශකලාපයේ වර්ණය, ප‍්‍රමාණය, ස්වභාවය, ගනත්වය එකිනෙකට වෙනස් වේ.
වැඩි දෙනකුට ඇති ප‍්‍රධාන ම ප‍්‍රශ්නය හිස කෙස් හැලීමයි. සුන්දර ලලනාවකගේ කෙස් කළඹ අකලට පැසේ නම්, අකලට වැටේ නම් එය කෙතරම් අභාග්‍යයක් ද? කෙස් පැලෙන්නේ කාන්තාවන්ගේ පමණක් නො වේ. පුරුෂ පක්‍ෂයේ ද කෙස් වැටී තට්ටය බවට පත්ව තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇත. මෙසේ කෙස් ගස් හැලීමට හේතු වන කාරණා බොහෝමයක් වුව ද ස්වභාව ධර්මයට අනුව අපගේ හිසින් සැලෙන සෑම කෙස් ගසක් වෙනුවෙන් ම නැවතත් කෙස් ගසක් එම කේෂ මූල යන්ගෙන් නැඟේ. එසේ නැඟුණ ද කෙස් වැටීම කෙස් කළඹට අවලස්සන බවක් එක් කරයි.මෙසේ කෙස් වැටීම සිදුවන්නේ හිස මතුපිට සමට කේශ වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් නිරතුරුව නො ලැබීයාම නිසාවෙනි.වා පිත් සෙම් යන ති‍්‍ර දෝෂයන් අතරින් වාතය රූක්‍ෂ වීම හා පිත රූක්‍ෂ වීම නිසා වෙන් සෙම් වියළීම හේතුවෙන් කේෂ වර්ධනයට අවශ්‍ය සෞඛ්‍ය පදාර්ථ නො ලැබී යයි. එවිට හිස මතුපිට සම වියළීම කෙස් හැලීම, අකලට පැසීම, කැඩීම, කෙස් දිරායාම සිදුවිය හැකිය.කෙස් ගස පිහිටා ඇති චර්මය වියළීම නිසා සනිග්ධ ගුණය අඩු වී මිය යන එම විවිධ ආසාදනයෙන්ම ගොදුරු වේ. සම ගැලවී යාම, හිස කැසීම සහ කුඩු හැලීම හිස් හොරි ලෙස හැඳින් වේ. හිස කෙස් අවට ඇති ස්නේහ පදාර්ථ වියළී ගොස් චර්මය විකෘති වීම නිසා සම මෘදු වී කෙස් හැලී යයි. පිනස් රෝගය අකලට හිස කෙස් පැසීමට මූලික වන ප‍්‍රධාන සාධකයයි. කෙස් පැසීම මෙන් ම කෙස් පැලීම ද සොදුරු රුව අවලස්සන කිරීමට හේතු වේ. උකුණන්, උඳු ගොව්වන් ආදී කෘමීන් බෝවීම ද දක්නට ඇති තත්ත්වයකි. මේ සඳහා බලපානුයේ හිසේ අපිරිසුදු කමයි.ඔබ ජීවත් වන පරිසරයේ දේශගුණික තත්ත්වය හා පාරිසරික තත්ත්වය ද හිස කෙස් කෙරෙහි බලපෑම් කරයි. සෞඛ්‍ය දේශගුණික තත්ත්වයක් තුළ සුන්දරව වැඩෙන කෙස් කළඹ රළු ශුෂ්ක දේශගුණික තත්ත්වයක් තුළදී වියළි හා රළු ස්වභාවයක් ගනී. පුද්ගල ප‍්‍රකෘතිය ද කෙස් ගස කෙරෙහි තදබල ලෙස බලපෑම් කරයි.
කාන්තාවන්ගේ ව්‍යාජ දෝෂයන් ද කාන්තා කෙස් කළඹේ ප‍්‍රසන්න භාවය කෙරෙහි බලපෑම් ඇති කරයි. මේ හැරුණු විට ශරීර අභ්‍යන්තරයේ ඇති උෂ්ණාධික බව ද කෙස් කළඹට බොහෝ බලපෑම් කරයි. උෂ්ණ රෝගී තත්ත්වයන් ශරීරයේ සෞම්‍ය ගුණ අඩු කිරීම ඊට හේතු වේ. ව්‍යායාම අඩුවීම හේතුවෙන් දහදිය පිට නො වීම මෙන්ම හිසෙහි අපිරිසුදු බව කෙස් කළඹේ සුන්දර බව නැතිකිරීමට හේතු වේ. හිසෙහි ඇති අපිරිසුදු බව කෙස් කළඹට අදාළ රෝග බොහෝමයකට හේතු වේ.ඔබට නිරෝගී කෙස් කළඹක් අවශ්‍ය නම් පළමුව ඉතා ම පිරිසුදුව සිටීමට මතක තබා ගත යුතුයි. ස්නානය ප‍්‍රධාන අවශ්‍යතාව වන අතර ස්නානයේ දී උළුහාල් දෙහි තම්බා හිස සේදීම පුරාණයේ සිට පැවත එන ඖෂධ භාවිතයකි.ඔබගේ ශරීරයේ කිසියම් රෝගී තත්ත්වයක් වේ නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම ඊළඟට කළ යුතු ප‍්‍රධාන කාර්යයයි. මානසික සමබර තාව රැක ගැනීම ද මානසික ප‍්‍රසන්න තාව පවත්වා ගැනීම ද මෙහිදී වැදගත් වේ.රාති‍්‍රයේ දිය නෑම, වැරැදි ආහාර විහරණ, අධික ලෙස නිදිවැරීම, අධික ලෙස විදුලි පංකා, වායු සමනය සේවනය කිරීම ආදිය නොකළ යුතු දේ වෙයි. උෂ්ණාධික බවින් යුතු හා සෙම හා පිත වඩන ආහාර භාවිතයෙන් වැළැකීම ඉතා යෝග්‍ය වේ. මේ සියල්ලම සමඟ තම ශරීර ප‍්‍රකෘතියට ගැළැපෙන පීනස් ආදී රෝගී තත්ත්වයන් නසාලන සුදුසු තෙල් වර්ගයක් දමා හිස පිරිමැදීම (සම්බාහනය) තම නෙත්වලත්, හිසෙහිත්, බුද්ධි ඉන්ද්‍රියෙහිත්, නිරෝගී භාවය පතා බොහෝ දෙනා සිදුකර ගනිති.මේ සියලු හේතූන්ට ආගන්තුකව අධික රුක්‍ෂ ගුණයෙන් යුතු බටහිර ඖෂධ සංයෝග දීර්ගකාලීනව භාවිතය ද සොඳුරු කෙස් කළඹ වනසාලීමට හේතු වේ.ඔබට ඔබේ හිස කෙස් පිළිබඳ ගැටලු ඇත්නම් පළමුව පිරිසුදුව සිටින්න දෙවනුව ශරීරයේ නීරෝගී බව සඳහා සුදුසු පළපුරුදු වෛද්‍යවරයකු වෙත ගොස් ඖෂධ පන්තියක් භාවිත කරන්න.
ටෙක්ලා පද්මිණි කාරියවසම්
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හිතට වදදෙන අකලට කෙස් වැටීම Rating: 5 Reviewed By: Unknown